සාගරය සම වූ ජීවිත අන්දරය
විටෙක නිශ්චල,විටෙක රළ නගන සාගරය අපහට නුහුරු නුපුරුදු තැනක් නොවේ.මිනිසුන් වන අප බොහෝ දෙනෙකුට සාගරය හා බැඳි මතකයන් ද අවස්තාවන් ද අපමණය.එහිලා සයුර හා හාදවීමට වයස් සීමාවක් ද නැත.නමුත් සාගරය වූ කලී ස්වාභාවික වස්තුවකින් එහා ගිය මනුෂ්‍ය ජීවිතය පිළිබඳ නවමු මානයක් පෙන්වන්නක් බව ඔබ සිතා තිබේද?


සාගරය හා අප ජීවිතය එකිනෙකට පරස්පර විෂය වස්තූන් දෙකක් යැයි මෙම ලිපිය කියවන ඔබ සිතනවා විය හැක. නමුදු සාගරය හා ජීවිතය තරමට එකිනෙක බද්ධ වූ වස්තූන් දෙකක් තවත් තිබිය හැකිද?


එහිදී සාගරයට ද ජීවිතයට ද මහා පොදු සාධකයකි. එය නම් අවිනිශ්චිතතාවයයි.එක් මොහොතක නිසලව රැළි නඟන සාගරය තවත් විටෙක ජීවිත දහස් ගණනක් විනාශ කළ හැකි මහා ජල කඳක් දක්වා වර්ධනය වන්නේ එම අවිනිශ්චිත බව මැනවින් විදහමිනි.ජීවිතය ද එලෙසමය. අපගේ මේ මනුෂ්‍ය ජීවිතය පූර්ණ අ__ර්ථකතනයන්ගෙන් තොර අවිනිශ්චිතතාව මෙතෙකැයි කිව නොහැකි තෝතැන්නක් නොවෙද? මේ මිනිත්තුවෙහි සිනා නඟන මිනිසා ඊළඟ මිනිත්තුවෙහි මාරාන්තික වේදනාවකින් මුසපත් කිරීමට තරම් ජීවිතය ද සයුර මෙන්ම වෙනස් වන සුළුය. සාගරයේ විටින් විට බිඳී විසිරෙන ජල රැලිති මෙන්ම අප දිවියට ද විටින් විට එකිනෙකින් වෙනස් වූ සිදුවීම් අනවසරෙන්ම එබිකම් කරයි. ඒවායෙහි බලපෑම ද විවිධාකාරය. එම සිදුවීම් විටෙක දිවියම ප්‍රහර්ෂයෙන් පුරවාලන්නට ද තවත් විටෙක අන්ධකාරයෙන් ගිල්වා හරලින්නට ද සමත්ය.


සාගරය ගැඹුරුය.මෙතෙකැයි මිනුම් කළ නොහැකි තරමටම ගැඹුරුය. එලෙසම තාක්ෂණයෙහි හිනිපෙත්තෙහිම සිටිනා අද ලෝකයට පවා හෙලිදරව් කරගත නොහැකි රහස් දහස් ගණනක් තවමත් සාගර පතුලෙහිය. නමුත් එම සියලුම රහස් සඟවාගනිමින් සාගරය නිසොල්මන්ව සිටිනවා නොවෙද? මනුෂ්‍ය දිවියද එලෙසමය. ජීවිතය යනු මතුපිටින් නිශ්චල නමුත් ඇතුලත දහස් ගණනක් වූ රහස් වලට තිඹිරි ගෙයකි. ලොවට නිරාවරණය නොවන වේදනාවන් මෙන්ම ප්‍රහර්ෂයන්ගෙන් ද අනූන වූවකි. අප තවකෙකු පිළිබඳ හොඳින්ම දන්නවා යැයි සිතෙන මොහොතක පවා අප ඔහු පිළිබඳ නොදන්නා වපසරිය අතිමහත් විය හැක්කේ එබැවිනි. සත්‍ය නම් මෙම ලිපිය ලියන මම ද කියවන ඔබ ද අපගේම ඇතුළාන්තය තවමත් පූර්ණ ලෙස නොදන්නා අයවලුන් වීමය. එහිලා තම අභ්‍යන්තරය පවා නොදන්නා පසුබිමක තවත් අයෙකුගේ ජීවන රටාවක් විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් මෙලොව කිසිවෙකු සතු වේ යැයි මම නොසිතමි. මන්ද ලොවට නිරාවරණය නොවන මොහොතක පවා අප බොහෝ දෙනා දහසකුත් වූ නිහඬ සංග්‍රාමයන් හා පොර බඳින බැවිනි.


සාගරය යනු සුවහසක් වූ ජලජ ජීවීන්ගේ නිවහනය.ලොව වෙසෙන විශාලතම සත්ත්වයාගේ සිට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවියා දක්වා වෙසෙන නිවහනය. මනුෂ්‍යයන් වන අප සතු ජීවිතය ද සාගරය මෙන්මය. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ පිරිසක් අප දිවිය තුළ සැරිසරනවා නොවෙද? නමුත් යම් වෙනසක් ඇත. එය නම් සාගරයේ වෙසෙන ජීවීන් තම උපතේ සිට මරණය දක්වා සාගරය නිවහන කරගන්නට වන්ව මනුෂ්‍ය දිවිය නවාතැන්පලක් පමණක් වීමය. සරලවම ගතහොත් අපගේ මේ දිවිය කිසිවෙකුටත් සදාකල් නිවහනක් නොවීමය. එහි ඇත්තේ යාම් ඊම් පමණමය. මව,පියා හෝ ආදරවන්තයන්ට වුව කෙතරම් තදින් බැඳී සිටිය ද එක් නිමේශයක ඒ සියලු දෙනා හැර යා යුතුමය. එහිදී ජීවිතයේ සැරිසරන පුද්ගලයන් විවිධාකාර වනවා සේම ඔවුන්ගේ බලපෑම ද විවිධාකාරය. බහුතරයක් දෙනා අප ප්‍රීතියෙන් දයාවෙන් පුරවන විටෙක සුළුතරයක් අප වේදනාවන්ගෙන් පුරවාලන්නේ එම විෂම බව විදහා දක්වමිනි. එබැවින් සැම විටම අප අපගේ තේරීම් හා විශ්වාසයන් කෙරෙහි මනා අවබෝධයක් පවත්වා ගත යුතුමය.


සාගරය සතු මායාවකි. එය නම් ක්ෂිතිජයයි.අප දකින්නේ සාගරයේ හා ආකාසයේ එක් වීමයි.සාගරය කෙළවර වන බවයි. නමුත් මායාවන් යනු අප ඇස රවටන දේ විනා සත්‍ය නොවේ.සාගරයේ අවසානයක් නොවන සේම ආකාසය හා එක් වීමක් ද නැත. එබැවින් ක්ෂිතිජය මනස පිනවන සොඳුරු දසුනක් වුව මුලාවකි. ඉපදීම සතුටක්ම පමණක් යැයි දකින ජීවිතය ද මුලාවක් නොවෙද? මනුෂ්‍යයා උපත ලබන්නේම දුක් දෝමනස්ස කැටුවමය. බැඳීම්,වෙන්වීම් මෙන්ම අහිමිවීම් ද ඒ අතර වෙයි. එබැවින් සතුට පසුපස දුක ද පැමිණෙන බවද ඒ සියල්ලම සමසිතින් දරාගත යුතු අප සිහි තබා ගත යුතුමය.
අවසන, ජීවිතය ද සාගරය මෙන්ම අවිනිශ්චිතය. ගැඹුරුය. රහසිගතය. නමුත් අවසානයේ සෑමවිටම සුන්දරය.

