මනැස් චිත්‍රණය...

මනැස් චිත්‍රණය...
කියවීම වනාහී හුදෙක් දැනුම පිපාසයට සොයන දිය බිඳක් පමණක්ම නොව රසවින්දනය උපරිමයෙන් අත්විඳිය හැකි ලාභදායිම මාධ්‍යයයකි. ඇතැම් විට ඔබ ඉහත අදහසට එකඟ නොවනු ඇත. මන්දයත් වර්තමානයේ බොහෝ දෙනා රසවින්දනය සොයා යන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා නිසාවෙනි. නමුත් කියවීම තුළින් ගොඩ නැගෙන්නා වූ රසවින්දනය අත්විදි තැනැත්තෙකු ඉන් මුදවාගැනීම නම් පහසු කටයුත්තක් නොවනු ඇත. දෑසින් බලා යමක ඇති අක්ෂර ගලපා ගනිමින් වචන ද, වචන ගලපමින් වාක්‍ය ද නිර්මාණය කිරීමට මිනිස් මොළය සහජ කුසලතාවයක් ලබා ඇත. ඉන් ඔබ්බට යමින් මිනිස් මොළය ඉදිරිපත් කරන්නාවූ සුවිශේෂීම කුසලතාවය පරිකල්පනයයි.

පරිකල්පනය නොහොත් මනෝ සිතුවම් නිර්මාණය මිනිස් සිත හා මොළය අතර පවත්නා අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ඇති වන මහාර්ඝ දක්ෂතාවයකි. කියවීම යනු එය වඩා වර්ධනය කර ගත හැකි ප්‍රධානම මාධ්‍යය වේ. අකුරු ගලපමින් වචනත්, වචන ගලපමින් වාක්‍යයක් ගොඩනංවමින් උකහා ගන්නා අර්ථාන්විත සිද්ධියක් හෝ ක්‍රියාවලියක් නිර්මාණශීලී ලෙස මනසෙහි චිත්‍රණය වීම මෙහිදී සිදුවේ. පුද්ගලයකුගේ මනෝභාවයන් විවිධාකාරය. චින්තන ශක්තිය, ප්‍රතිනිර්මාණය හා මවා ගැනීම්ද පුදුමාකාරය. එකම වස්තුවක් දෙස එක් එක් පුද්ගලයා තම මනස යොමු කරන්නේ එය දකින්නේ විවිධ කෝණවලින් බව ඔබ දැක ඇතුවාට සැක නැත. ඒ දැක්ම එක් එක් පුද්ගලයාට සුවිශේෂී සහ අනන්‍ය වූවකි. එබැවින් පුද්ගලයින් සතු වූ නිර්මාණශීලී හැකියාවන් පරිකල්පනයට බෙහෙවින් ඉවහල්වේ. කියවීම මේ සියල්ලෙහිම පදනමයි.

Google images

නවකතා, කෙටිකතා, පද්‍ය, පුවත්පත් මෙන්ම විෂය පෙළපොත් යනාදී ඕනෑම මාධ්‍යක් කියවමින් එහි වාක්‍ය ඡේද ඔස්සේ දෙඇස් ගෙන යද්දී එයින් විස්තර වන්නා වූ සංසිද්ධිය හෝ වස්තුව පිළිබද මනෝ චිත්‍රයක් මනසේ නිර්මාණය වන්නේ නිරායාසයෙනි. එය සෑම පුද්ගලයකුටම පොදුය. නමුත් නිර්මාණය වන සිතුවම හාත්පසින්ම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. ඔබ යමක් කියවන විට එවැනි පැහැදිලි මනෝ සිතුවමක් නිර්මාණය නොවන්නේ නම් ඔබ එය කියවා ඇත්තේ අවබෝධයෙන් නොවන බවට හොදම සාක්ෂියකි. විශේෂයෙන්ම විෂය පෙළපොත් හෝ විෂය සමගාමී යම් දෙයක් කියවීමේදී ඔබ එම විෂය කොටස හොදින් අවබෝධ කරගෙන ඇත්නම් සිහිනයක් බඳු පැහැදිලි අරුත්සහගත සිතුවමක් ඔබේ මනසේ ගොඩනැගෙනු ඇත, හෝ ඔබ විසින් එය උනන්දුවෙන් කියවා අවබෝධ කරගනිමින් සිතුවමට කොටස් එක් කළ යුතුය. වැදගත්ම කරුණ නම් එලෙස අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන් විසින් විෂය කොටස් අවබෝධය තුලින් ගොඩනගා ගන්නා මනෝ සිතුවම් බොහෝ කල් මතකයේ රැදී තිබීමත් ඕනෑම මොහොතක මතකයට නගා ගත හැකි වීමත්ය. එය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සේම අධ්‍යාපන ලබන ඕනෑම අයෙකුට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

Pinterest

ඊට අමතරව නවකතා, කෙටිකතා හෝ පද්‍ය ආදිය කියවන විටදී වාක්‍ය, ඡේද හා පරිච්ඡේද එකතුවෙමින් ග්‍රන්ථයෙහි මුල සිට අගට දෑස් ගෙන යද්දි චිත්‍ර පොතක පිටු පෙරලන්න සේ සිද්ධීන් සිද්ධිය පරිපූර්ණ සිතුවම් දාමයක් නිර්මාණය වේ.එය පොතක් රසවිදීමට නම් අත්‍යවශ්‍යය. නිදසුනක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ 'මඩොල් දූව' නවකතාවේ පහත උපුටා ගත කොටස සලකමු. "ඔහු දිව ගොස් අලවංගුවකුත් කැති තලයකුත් ගෙන ආවේය. මම මාගේ දෑස් වසා කළු ලේන්සුව බැඳ කඩුව උස්සාගෙන පෙරමුණ ගමන් කළෙමි.” මෙය ඉතා කුඩා සිදුවීමක් වුවද මෙම පාඨය කියවන විට ඕනෑම අයෙකුට මෙහි සදහන් ‘ඔහු’ නම් කෙනෙකු දිව ගොස් අලවංගුවක් හා කැති තලයක් රැගෙන එන අයුරුත්, මෙහි කථානායකයා කළු ලේන්සුවක් බැඳ කඩුවක් අතැතිව පෙරමුණේ ගමන් ගන්නා අයුරුත් මැවී පෙනෙනවාට සැක නැත. නමුත් එය දර්ශනය වන ආකාරය පුද්ගලයාගේ පරිකල්පන හැකියාව මත තීරණය වන්නකි. මෙහි එන පරිසර වර්ණනා පවා පාඨකයා මෙම ග්‍රන්ථය තුළ ජීවත් කරවමින් මෙම පරිසරය තුළ තමන් ජීවත් වනවා යන හැගීම ඇති කරවීමට සමත් වේ. "දුපත අසල ඇති ගං ඉවුර කඩොල් ගසින් හා කිරල ගසින්ද කැරන් පඳුරින්ද හෙවණ කරනු ලැබූවකි. ගනව වැඩුණු කැරන් කොකු විශාල කළිස්සන් වැන්න. දියෙන් නැඟුණු කිරල මුල් දුපතට මිනිසුන් ගොඩ බැසීම වළකනු පිණිස සිටුවන ලද යවුල් සේ මා බිය ගැන්වීය." යන පාඨය මගින් ඒ බව මොනවට පැහැදිලි වේ. සිහින දකිමින් කියවීමට නම් භාෂාව අවබෝධ වන ප්‍රමාණයද ප්‍රධානවම සැලකිය යුතුය. එබැවින් ඇතැම් විට තමන්ගේ මව් භාෂාවට පරිබාහිර භාෂාවක යමක් කියවන විට පරිකල්පනයේ යම් වෙනස්කම් ඇති විය හැක. ඇතැම් අවස්ථාවලදී බාහිර පරිසරය පිලිබඳ අවදානයකින් තොරව පොතක අඩංගු චරිත හා සිද්ධි අතර ජීවත් වෙමින් එක හුස්මට ආයාසයකින් තොරව කියවූ අවස්ථා පිලිබඳ අත්දැකීම් ඔබටත් ඇතුවාට සැක නැත. ඊට හේතුව නම් එහි අඩංගු චරිත හෝ සිද්ධි තම ජීවිතයට සමීප වීම හා පහසුවෙන් ධාරණය කරගත හැකි භාෂාවක් තිබීමත් ය.

Google images

අවසාන වශයෙන් කිව යුත්තක් තිබේ. එනම් 'කියවීම නම් දෑස් හැර සිහින දැකීමයි.' දෑස් තුළින් පොතක වූ අක්ෂර මත යමින් මනසේ අඳිනා සිතුවම තුළ ජීවත්වීම හා රසවිඳීම නිර්මාණිත  ටෙලි කතා හෝ සිනමා පටයක් නරඹනවාටත් වඩා වැඩි රසවින්දනයකි. එය අවබෝධ වන්නේ ජීවිතයේ එක් වරක් හෝ කියවීමෙන් සිහින දුටු අයටම වේ. ඔබ චිත්‍රපටයකට හෝ ටෙලි කතාවකට නගා ඇති ග්‍රන්ථයක් පළමුව කියවා මනෝ සිතුවම් රස වින්දනයෙන් පසු ඉහත කී දෘශ්‍ය නාට්‍ය නරඹන්න. අනතුරුව සිතා බලන්න ඔබගේ මනෝ සිතුවමද දෘශ්‍ය නාට්‍යද රසවින්දනයෙන් ඉහළ කියා, නිතතින්ම ඒ මනෝ සිතුවමයි. එවිට ඔබට ඔබ ගැන ආඩම්බර වියහැකියි. මන්දයත් මොළය හා සිත නමැති අධ්‍යක්ෂවරු ඔබට පිරිනැමූ ඔබගේම සංකල්ප, අදහස් හා නිර්මාණාත්මය සපිරි ඔබගේම සිනමා පටය නිසාවෙනි.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake