පිපෙන්නට වෙර දරන මල් කිනිත්තක බලාපොරොත්තුව

පිපෙන්නට වෙර දරන මල් කිනිත්තක බලාපොරොත්තුව

ගම් දනව් සිසාරා ගමින් ගම හැඩ කරන ග්‍රාම ප්‍රබෝධය ගමනෙහි තවත් එක් නැවතුමකටයි මොරටුව විශ්වවිද්‍යාල රොටරැක්ට් සමාජයේ මේ සූදානම. ඉතින් එදා ඔක්තෝබර් මාසෙ බ්‍රහස්පතින්දා දවසක හවස  අපි  පිටත් වුණේ සියලු ලෝක වාසී බෞද්ධ බැතිමතුන්ගේ ආදරයට මෙන්ම ගෞරවයට පාත්‍ර වුණ අනුරාධපුර පූජා නගරය වෙතටයි. අපි මේ පාරත් පුරුදු විදියටම ගමින් ගම හැඩ කරන ගමනට තෝර ගන්න තීරණය කර ගත්තෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීප්පුකුලම ප්‍රදේශයේ කුකුලෑව කියන පුංචි ගම.

ඉතින් අපි මොරටුවේ ඉඳන් අනුරාධපුරයට පිටත් වුණේ මේ ගමේ ඉන්න පුංචිම පුංචි මල් කැකුළු වලට නිදහසේ පිපෙන්නට ඉඩ හරින අනාගතය අපිට පුළුවන් විදියට හදන්නෙ කොහොමද කියන ප්‍රශ්නය හිතේ කොනක තියාගෙනමයි. සිකුරාද උදේ හය වෙද්දි අපි අපේ වෙහෙසකර ගමනේ බාගයක් ම ඉවර කරල ඒ උතුම් පුණ්‍ය භූමියට ඇවිත් තිබුණ. ඒත් ගමනේ ගමනාන්තයට නම් අපි තාම ආවෙ නෑ. අපිට තවත් කිලෝමීටර් 25 කට නොවැඩි ගමනක් ඉතුරු වෙලා තිබුණ. හැමෝම හැමදාම ඩොටේ කියපු හොරොව්පතානට යන බස් එක අනුරාපුර බස් නැවතුම්පලේ අපි එනකන් බලන් හිටියෙ අපිව කුකුලෑව ගමට එක්කන් යන්න. අපිට හොරොව්පතානට යන බස් එකක ගිහින් සීප්පුකුලමෙන් බැහැල තමයි කුකුලෑව ගමට යන්න තිබුණෙ. ඉතින් අපි කියපු විදියට සීප්පුකුලම හන්දියෙන් බස් එකෙන් බැහැගත්ත. අපේ පළවෙනි වැඩේ විදියට අපි යොදාගෙන තිබුණෙ ගමේ අනාගතය බලන එක. ඔව් ඒ තමයි ගමේ ඉස්කෝලෙ. අපි බස් එකෙන් බහිනකොටම අව්‍යාජ සිනහවකින් කට පුරෝ ගත්ත ගමේ ඉස්කෝලෙ විදුහල්පතිතුමාගෙන් අපිට ලැබුණෙ ඉතා උණුසුම් පිළිගැනීමක්.

“කොහොමද පුතාල ඉතින්, ඔයාල ඊයෙ ඉඳන්ම ගමනෙ නේද?”
“ඔව් සර් අපි ඊයෙ හවස තමයි පිටත් වුණේ.”
“ඉස්කෝලෙට තව පොඩි දුරක් තියෙනව පුතා. මම ඔයාලව දෙපාරකට එක්කන් යන්නං. මම ඉස්කෝලෙ මිස් කෙනෙක්ටත් එන්න කියන්නම් දුවව එක්කන් යන්න.”
“අනේ කමක් නෑ සර් අපි එහෙනම් වීල් එකක යමු ඉස්කෝලෙට. සර් දෙපාරක් එන්න ඕනෙ නෑ.”

එහෙම කියපු අපි, අපේ ගමනෙ ඉතුරු ටික ත්‍රී රෝද රථයකට භාර කරා. පොඩි දුරක් කියපු ඒ ගමන නං කිලෝමීටර් දෙකකට වැඩි මිසක් අඩු වුණේ නං නෑ. කොහොමින් කොහොම හරි අපිට අපේ ගමනාන්තයට උදේ දහය වගේ වෙද්දි එන්න පුළුවන් වුණා. ඊට පස්සෙ අපි විදුහල්පතිතුමාගෙ කාර්යාලයට ගියෙ ඔහු සමග ආගිය තොරතුරු කතා කරන ගමන්මයි. කාර්යාලයට ගිය අපිට  ඉස්කොලෙ ගුරු මණ්ඩලෙන් නම් හම්බ වුණේ ඉතාම උණුසුම් පිළිගැනීමක්. ඉතින් එයාල එක්කත් ආගිය තොරතුරු කතා නොකර ඉන්න මගෙ විඩාවක් නැති කටට නං පුලුවන් වුණේ නෑ.

“ඉතින් පුතාල හැමෝම කැම්පස් එක ගාවමද?” එහෙම පටන් ගත්ත ඒ කතාව ඉවර වුණේ ඒ මිස්ලගෙ ගම් බිම් වල තොරතුරුත් දැන ගත්තට පස්සෙ. දැන් තමයි ගමනෙ හොඳම කොටස. ගමේ උදවියගෙ ආගන්තුක සත්කාර මනාවට පෙන්නුම් කරන ගමේ රසට කෑම මේසයක් ඔවුන් අපිට සූදානම් කරල තිබුණෙ ළමයින්ගෙ අම්මල කීප දෙනෙක්ගෙත් උදව්ව ඇතිව. ඒ කෑම මේසෙ ව්‍යංජන වර්ග හතක් අටක් ම තිබුණෙ අනුරාධපුරේටම ආවේණික රසකුත් එක්ක. ඒ රසම රස කෑම මේසෙ ඡායාරූපයක් අපි අපේ රොටරැක්ට් යාලුවොත් එක්ක බෙදා ගන්නත් අමතක කරේ නෑ. ඉතින් එයාලට ඒක කියල එයාලව පොඩ්ඩක් කේන්ති ගස්සපු අපි එයාල කිව්ව රස බර කතාත් දුරකථනය අතට අරන් බලන ගමන්ම අතුරුපසට හම්බ වුණ ගස්ලබු කෑල්ලකුත් ඉවර කරන්න අමතක කරේ නෑ.

අපේ ඊළඟ කාර්යය වුණේ පාසලේ වටයක් ඇවිදින ගමන්ම විදුහල්පතිතුමා එක්ක පාසලේ ප්‍රශ්න වගේම ලමයින්ගෙ ප්‍රශ්නත් කතා කරපු එක. ඒ කතාවෙන්, අපිට පාසලේ තිබ්බ ගොඩක් අඩුපාඩුකම් වගේම ඒ ළමයින්ගෙ ප්‍රශ්න ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුලුවන් වුණා. ඉතින් ඒ පුංචි මල් කැකුළු පිපෙන්නට දරණ වෙහෙස කොළඹ වගේ ලේසී නෑ කියන එක නං තේරුම් ගන්න අපිට වැඩි වෙලාවක් ගත වුණේ නෑ. ටැප් එකට කට තියා ගෙන වතුර ඇති වෙන්න බොන්න පුලුවන් අපි එක්ක, බොන්න වතුර කළයක් ගන්න උදේ හවා යන්න වෙන ඒ ජීවිතේ කටුක බව කොහොම සන්සන්දනය කරන්නද කියල හිතා ගන්නවත් බෑ. කිලෝමීටර් දෙක තුනක් පයින් දුර ගෙවාගෙන උදේ හවා පාසල් යන ඒ මල් කැකුළුවල හිත් වල හයිය නං කවදාවත් නැති වෙන්න එපා කියන ප්‍රාර්ථනාව ඒ වෙලාවෙ මගේ හිතට ආවෙ පුංචි කඳුලකුත් එක්කමයි.

“කීයෙ පන්තියේද මල්ලි ඔයා?”  ඒ ප්‍රශ්නෙ මගෙන් පිට්ටනියෙ හිටපු අශේන් කියල මල්ලි කෙනෙක්ට.
“මන් දහය වසරෙ අයියෙ.”
“මල්ලි කැම්පස් යන්න කැමතිද?”
“ඔව් අයියෙ.”
“මල්ලි මොකක්ද ආසම විෂය?”
“මන් ගණන් වලට ආසයි අයියෙ”
ඒ උත්තරේ නං මං කොහෙත්ම බාලාපොරොත්තු වුණ එකක් නෙමේ. මොකද මමත් ඒ කාලෙ ගණන් වලට නං වැඩි කැමැත්තක් දක්වපු කෙනෙන් නෙමෙයි නිසා.
“ලකුණු කීයක් තිබ්බද මල්ලි අන්තිම පාර?”
“64 ක් තිබ්බ අයියෙ.”
“ඉතින් මල්ලි ඔයා හිතනවද ඒ ගාන ඇති කියල.” ඒ ප්‍රශ්නය නං මං ඇහුවෙ පොඩ්ඩක් නෝක්කාඩු ස්වරූපයකින්. මොකද ගණන් වලට ආස නං අඩුම තරමෙ ලකුණු 75ටවත් වැඩියෙන් ඇති කියල මම හිතුව.
“ගිය පාර අපිට සර් කෙනෙක් හිටියෙ නෑ අයියෙ හරියට. නැත්තං ඊට වඩා ගන්න තිබ්බ.”
“ශා..  ඔයා නියමයිනෙ මල්ලි එහෙනම්. ඊළඟ පාර ඔයාට 100 න් 100 ම ගන්න පුළුවන් මල්ලි” කියපු අපි එයාල එක්කම එයාලගෙ ගමේ වතුර ෆිල්ටරය ගාවට ගියෙ කැඩිල කියපු ෆිල්ටරය අලුත්වැඩියා කරල දෙන්න පුලුවන්ද බලන අදහසින්. ඒ අතර වාරෙ වුණ කතා බහෙන් තමයි මට තේරුණේ දවල් විතරක් පාඩම් කරල රෑට හේන් වල පැල් රැකල තාත්තට කුඹුරු වැඩ වලටත් උදව් කරල කිසිම අමතර පන්තියකට නොගිහින් හරි හැටි ගුරුවරයෙකුත් නැතිව ගණන් වලට අශේන් මල්ලි ගත්තු ඒ ලකුණු 64 , A+ එකකටවත් සම කරන්න බෑ කියන එක. ඉතින් මම මගේ පුංචිම උපදෙස් ටිකකින් අශේන් මල්ලිව දිරිමත් කරන්න ඒ වෙලාවෙ අමතක කරේ නෑ.

ඒ ගමනත් එතනින් ඉවර කරපු අපි ඊළඟට ගියේ ගමේ පන්සලට. පාසෙලෙන් ටිකක් දුර තිබුණු පන්සලට අපිට පාපැදි සවාරියක් යන්න අවස්ථාව උදා වුණා. ඉතින් කාලෙකින් බසියිකලේකට ගොඩ වුණ මමත් මිටින් හල කුරුල්ලෙක් සේ පාර දිගේ බයිසිකලෙ පදින්න පටන් ගත්තෙ අපිත් එක්ක ගමනට එකතු වුණ සවිති නංගිත් එක්ක තරඟයට. හැබැයි ඉතින් අනිත් දෙන්නට නං ඒ ගමන එච්චර සුන්දර එකක් වුණේ නෑ. කොහොමින් කොහොම හරි ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්කත් කතා බස් කරල ආපහු පාසලට ඇවිත් බයිසිකල් ටිකත් දීපු අපිට අකමැත්තෙන් වුණත් පාසලට සමුදෙන්න වෙලාව ඇවිත් තිබුණ. පාසලේ තිබුණ අඩුපාඩු මෙන්ම ගමේ තිබුණ අඩුපාඩුත් සටහන් කරගෙනම අපි කෙසේ හෝ මේ මල් කැකුළු වලට පිපෙන්නට සවියක් වෙනවාමයි යන අදිටනින් ආගන්තුක සත්කාර වලටත් ස්තූති කර ගෙනම ආපසු එන්න පිටත් වුණා.

ආපසු එන ගමනෙදි පූජා නගරයට යන්න අනුරාධපුර බස් එකකට නැගපු අපිට පූජා නගරයට පාර කිව්වෙ බස් එකේදි හම්බ වුණ තවත් එක බලාපොරොත්තුවක්.
“අයියල මොරටුව කැම්පස් එකේ කිව්ව නේද? මමත් ආසයි කැම්පස් යන්න. පේරාදෙනියට තමයි වැඩිපුරම ආස”
ඇය එක්ක කතා කරපු ඒ මොහොතේ මගේ සිහියට ආවෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ සැළලිහිණි සන්දේශයේ අපූරු කාන්තා වර්ණනා කවියක්. තොටගමුවේ හාමුදුරුවො කාන්තා මුහුණ සිසිට සමාන කිරීමේ කිසිම වැරැද්දැක් නැතැයි මටම කියාගත් මම බස් එකෙන් බැස්සෙ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේත් රුවන්වැලි මහා සෑ රදුන්ගෙන් ආශිර්වාදය ගැනීමේ අදිටනින්. ඒ ගමනෙදිත් පයින් ඇවිදින්න අකමැති අපේ අයගෙ නෝක්කාඩු වලින් නම් අඩුවක් වුණේ නෑ.

ඉතින් ඒ ආශිර්වාදයත් අරගෙනම අපි නැවත කොළඹ බලා එන්න පිටත් වුණා. බස් එකේ අයිනකට හේත්තු වුණ මගේ මතකය දිව ගියේ Z- Score ප්‍රශ්නය වෙතටයි. මෙතරම් කටුක මඩ වගුරක වුවද පිපෙන්නට වෙර දරණ නෙලුමක බලාපොරොත්තුව සුනුවිසුණු  කිරීමට පාලකයන් තැත්කරන්නේ ඇයි දැයි මට නම් තවමත් ප්‍රෙහේලිකාවක්. ඉතින් ඒ කතාව සිහිනයක් වෙද්දීම මට නැවත අවදි වුණේ අපි බහින්නට ආසන්න බව කියන පණිවුඩයත් සමගමයි. කොළඹින් බැහැ ගත්ත අපිට සෙනසුරාදා පාන්දර වෙද්දි නැවත කැම්පස් එකට එන්න පුළුවන් වුණා. වෙහෙස කර ගමනක නිමාව, බලාපොරොත්තු දසහකුත් එක්ක එසේ සනිටුහන් වුණා. ඉතින්, “එන්න අප සමග යථාර්තය දකින්න” යන විවෘත ආරාධනාවත් සමග තවත් එක් චාරිකාවක අවසානය මොරටුව විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ අපි මෙසේ සටහන් කළෙමු.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake