ඔබ මට නිවහනක් විය.

ඔබ මට නිවහනක් විය.

නිවස නැතිනම් නිවහන ලොකු කුඩා අප සැමගේ ප්‍රියතම නවාතැන්පලයි.අපට කිසිදු මවාපෑමකින් තොරව අපම වීමට ඉඩ දෙන,පෙරලා කිසිවක් බලාපොරත්තු නොවන මිනිසුන්ගෙන් සැදුම්ලත් අපගේම අවකාශයයි.තම නිවසට ආදරේ තරම කෙතරම් ද යත් එක් නොතේරුම් වයසක සිටි කුඩා දැරියක එක් කලෙක කෙදිනක හෝ තමාට නිවසින් යාමට සිදු වුවහොත් යනෙන තැනකට නිවස ද රැගෙන යාමේ බොළඳ හීනයෙන් මුසපත් කිරීමට තරම්ම නිවස පිළි​බඳ වූ හැඟීම ප්‍රබලය.නමුත් නිවස යනු ඇත්තෙන්ම බිත්ති හතරකට වට වූ අවකාශයම ද?

විසි වයස් සපිරි, තම උසස් අධ්‍යාපන සිහිනය වෙනුවෙන් තම නිවස අතහැර සැතපුම් සිය ගණනක් දුර නව අවකාශයකට පිවිසි තරුණියක තවදුරටත් නිවස යනු බිත්ති හතරකට මායිම් වූ අවකාශයක් නොවන බවත් නිවසක් යනු තවත් එක් මානුෂීය හැඟීමක් බවත් පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරවමය.

ඇත්තෙන්ම එලෙස විය හැකි ද? කුඩා අවධියේ හෝඩියේ පන්තියේ සිටම නිවස යනු අප අපගේ පවුලේ අයවලුන් සමඟ ජීවත් වන ස්ථානය බවට නිර්වචනය කළ ද තාරුණ්‍ය​යට පිවිසි විට නිවස යනු හැඟීමක් ලෙස සලකන්නේ ඇයිදැයි ඔබ සිතනවා විය හැකිය. නමුත් සත්‍ය නම් ඇත්තෙන්ම අප ආලය කරන්නේ නිවස යන හැඟීම අපහට ලබා දෙන අපගේ පවුලේ අයවලුන්ට මිසෙක බිත්ති හතරක මායිමට නොවීමයි. එලෙස පැවසීමට හේතූන් මම මෙසේ ගොනු කරනෙමි.

තම උස​ස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ වෘත්තීයන් වෙනුවෙන් තම නිවෙස් අතහැර සැතපුම් සිය ගණනක් එපිට නව නවාතැන්පලට පිය නඟන තාරුණ්‍ය​ය තරමට ‘නිවස’ සිහිවන, නිවස අවැසි වන තවත් පිරිසක් වෙතැයි මම නොසිතමි.කෙතරම් සැප පහසුකම් සපිරි නාගරික සමාජයකට පිවිසිය ද කවදා නිවස වෙත යා හැකි ද, කවදා නම් අම්මා අතින් සාදනා කෑම වේලක රස විඳිය හැකිදැයි ලතැවුල් දෙන සිතක් ඔවුන් සතුව ඇත. නමුත් ඇත්තෙන්ම තාරුණ්‍ය​යට ඒ තාවකාලිකව හෝ අහිමිව ඇත්තේ නිවස යන ගොඩනැගිල්ල ද? නැත. සත්‍ය ලෙසම ඔවුන්ට අහිමිව ඇත්තේ තමාට නිවසක සුව ගෙනෙනා දෙමාපියන්ය.සොයුරු සොයුරියන්ය. තමාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමාට ආලය කරනා,කිසිදු විටෙකත් තමාව විනිශ්චය නොකරන මිනිසුන්ය. එහිලා නිවසක් යනු තමා ආදරය කරනා තමාට ආදරය කරනා මිනිසුන් සිටින ඕනෑම අවකාශයක් බව ඔවුන් තේරුම් ගනිමින් සිටිනා බව නම් නිසැකය.

මහගෙදර අත්හැරීම, නැතිනම් තමාගේ උපතේ සිට දිවි ගෙ​වූ, මවුපියන් සොයුරු සොයුරියන් හා කෙළි දෙලෙන් ගත කළ අවකාශය අත්හැරීම තවදුරටත් තාරුණ්‍යයේ නිවස පිළිබඳ වන හැඟීම තීව්‍ර කරනවා නොවෙ ද? වත්මනේ බො​හෝ පිරිස් තම දෙමාපියන්ගේ වියෝවත් සමඟ තමාගේ ම​හගෙදර අත්හැ​ර දැමීම සුලභ කරුණකි. අතීතයේ දැරියක්ව සිටි කාලයේ එම අත්හැරී​ම් මාගේ සිත වේදනාවට පත් කළ අතරම එවැනි දෙයකට පෙලඹීමට තරම් මිනිසා සාහසික වන්නේ කෙසේදැයි මාගෙන්ම ප්‍රශ්න කරගත් අවස්ථාවන් ද අපමණය.නමුත් දෙමාපියන්ගේ දේහයන් වැළඳ කුඩාවුන් මෙන් ඉකිලන වැඩිහිටි මිනිසුන්ම ඔවුන්ගේ ජීවන සුවඳ මුසු වූ මහගෙදර හිතක් නැති අයවලුන් මෙන් අත්හැරීම ගැන සංවේගයට පත් වූ අවස්ථාවන් දැන් දැන් ජීවිතයෙන් බැහැරව යමින් පවතී.මන්ද,සරලවම කිවතොත් බිත්ති හතරකට මායිම් වූ ඕනෑම අවකාශයක් නිවසක් බවට පත් කළ හැකිව තිබූ , නිවසක හැඟීම දැන වූ මිනිසුන්ගේ සදාකාලික නික්ම යාම්වලි​න් පසු තවදුරටත් එම බිත්ති හතරක අවකාශයේ වටිනාකම කිමෙක් ද? එබැවින් නිවසක් යනු එහි ජීවත් වන මිනිසුන් පිළිබඳ වන සන්තානයන් මිසෙක හුදු ගොඩනැගිල්ලක් නොවන බව මම නැවතත් ඔබට කියමි.

එහිලා තවත් ගැටලුවකි. නිවහනක සුවය අප වෙත ගෙන එන්නේ අපගේ දෙමාපිය සොයුරු සොයුරියන් හා ලේ ඥාතීන් පමණක්ම ද? නැත. තවකෙකුට නිවහනක් වීමට හෝ තවකෙකුගෙන් නිවහනක සුවය විඳීමට ලේ ඥාතීත්වයක් අවැසිම නැත. සත්‍ය නම්, ඥාතීත්වයක් පැවතියා වුව සමහර මිනිසුන්ගෙන් අපට නිවහනක සුවය නොලැබීමය. නොදන්නා අයවලුන්ගෙන් වුව එම සුවය විඳීමට හැකි වීමය.ආදරවන්තයින්,යහලුවන්,ගුරුවරුන් මෙන්ම හරිහැටි නොදන්නා පුද්ගලයන් වුව මොහොතකට හෝ අපහට නිවහනක් වන අවස්ථා අප දිවි​යේ අපමණය. එබැවින් තවකෙකුට නිවසක සුවය දීමට අවැසි වන්නේ මානුෂීය හදවතක් හා අනෙකා ගැන වන සහකම්පනය​ක්ම පමණි.

තවද අනෙකාට නිවහනක් වන මිනිසුන් හඳුනා ගැනීමට වටිනාම කාලය නම් යම් පුද්ගලයෙකුගේ දිවියේ අඳුරු​තම කාල පරිච්ඡේදයන්ය. හැඬූ කඳුළින් දි​වි ගෙවූ සිනහව අමතක වූ කාලයන්ය.තමා තවදුරටත් දිවි ගෙවිය යුත්තේ කෙසේදැයි තමාගෙන්ම ප්‍රශ්න කරනා අමිහිරිතම හෝරාවන්‍​ය. ඒ කාලයන්ගේ දී තමා ඔවුනට ​හා ලෝකයට කෙතරම් වටිනවා දැයි පහදන්නට නිවහනක් වන් මිනිසුන් පසුබට වන්නේ නැත.එවැනි අයවලුන් ඔබගේ වැරදි දහසකුත් අතර ඔබගේ හොඳම පමණක් දකින්නට උත්සුක වන්නන්ය.ඔබගේ වැරදි නිවැරදි කිරීමෙහි ලා නොපමාව අතහිත දෙන්නන්ය. ඔබව විනිශ්චයන්ගෙන් තොරව ආලය කරන්නන්ය. ඔබ ඔවුනට කෙතරම් වටින්නේදැයි මුවින් නොනඟා ක්‍රියාවෙන්ම සහතික කරන්නන්ය. එබැවින් නිවසක් යනු තවදුරටත් බිත්ති හතරකින් වට වූ ස්ථානයක් නොව නිවහනක් වන් මිනිසුන් සඳහා වන මානුෂීය හැඟුමක් බව මම පවසන්නෙමි.

ඉතින්, අවසන මෙසේ ලියා තබමි.

මෙම ලිපිය මා හට නිවහනක සුවය දුන් ඔබටමය.ගෙවා ආ ජීවිත කාලයේ තමා ගැනම අවතක්සේරු කළ ​හා විශ්වාස නොකළ දැරියකව වුන් මා ම​ටත් වැඩියෙන් විශ්වාස කළ ඔබ වෙනුවෙන්මය.​මා​ගේ කඳුළු පිසලා මුවඟට සිනහවක් තිළිණ කළ ඔබට​මය. මට නිවහනක සුවය සැලසූ ඔබ සැමටමය.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake