"He wasn't quite middling the ball or not...."

"He wasn't quite middling the ball or not...."

මාතෘකාව දැක්කම මුලින්ම ඔලුවට ආපු දේ මොකක්ද?

ක්‍රිකට්...

ඔව්. නමුත් මේ ලිපිය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවම නම් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවෙදි අපිට දකින්න ලැබෙන සංසිද්ධි කිහිපයක් ඇසුරින් ජීවිතයට වටිනා සංකල්පයක් පැහැදිලි කරලා දෙන්න තමයි මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ.

ක්‍රිකට් තරඟයක් කිව්වම කවුරුහරි කියන්න පුළුවන් "ක්‍රිකට් ඉතින් කවුරුහරි බෝලෙ දානව, තව කෙනෙක් පිත්තෙන් ඒකට ගහන එක නේද" කියල. සරලව පිටතින් දැකපු කෙනෙක්ට එහෙම තමයි හිතෙන්නෙ.

නමුත් මේ ක්‍රීඩාව ඇතුලේ ඊට වඩා සැලකිය යුතු ක්‍රියාදාමයක් තියෙනවා.

ලෝකයේ ජීවත් වන 99.99% ක් දෙනා මේ ජීවිතය සහ ජීවත්වීම කියන දේවල් දිහා දකින්නෙත් ඔය ක්‍රිකට් ගැන උඩින් බලල කියන විදියටම තමයි.

මේ අවස්ථා දෙකේ තියෙන ප්‍රධාන වෙනස තමයි ක්‍රිකට් කියන දේ නිතරම අත්දකින, ක්‍රීඩාවේ යෙදෙන පිරිසෙන් බහුතරයක් එහි ක්‍රියාවලිය ගැන දන්නවා උනාට ලෝකයේ ඉන්න බෝහෝ පිරිසකට "ජීවිතය" කියන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැතිම තරම්.

ක්‍රිකට් වල තියෙනවා අංග තුනක්. පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ පන්දු රැකීම.

මම මේ ලිපියෙදි කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ පන්දුවට පහර දෙන්නාගේ කෝණයෙන්.

මේ පන්දුවට පහර දෙන කෙනා හොඳ ඉනිමක් ගොඩනැගුවොත් තමයි ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. සාර්ථක ඉනිමක් ගොඩනගන්න අවශ්‍ය වන කරුණු මොනවද කියලා විමසුවහොත්, ප්‍රධාන වශයෙන්ම පිතිකරණ තාක්ෂණය, නිවැරදි පුහුණුව, අත්දැකීම්, ශාරීරික යෝග්‍යතාව, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වැනි කරුණු පෙලගැස්වීමේ හැකියාව පවතිනවා.

පුද්ගලානුබද්ධව ජීවිතය පිළිබඳව විමසීමකට ලක් කල විට එය ක්‍රියාකාරකම් රැසක එකතුවක් ලෙස අරුත් කිව හැකියි. ජීවිතය කරගෙන යාමේදී අභියෝගයන්ට සහ විවිධාකාර කරදරයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අනිවාර්ය දෙයක්නෙ. ඒක හරියට පිතිකරණයේ නියැලී සිටියදී යෝකර් පන්දුවක් එල්ල වෙනවා වගේ දෙයක් කියල කියන්න පුළුවන්.

සමාජයේ ජීවත් වන පුද්ගලයින් මේ අභියෝග සහ කරදර ඇති වන අවස්ථාවලදී හැසිරෙන ආකාරය දෙස බැලු කල රටාවක් දක්නට ලැබෙනවා මෙහෙම.

ප්‍රශ්නයක් එනවා - > ශෝකයට පත් වෙනවා - > ආයේ ප්‍රශ්නය ඇති නොවෙන්න කියා සිතා පැලැස්තර බඳිනවා - > ආයේ ප්‍රශ්නය එනවා - > පැලැස්තර ගැලවීම නිසා නැවත ශෝක කරනවා - >.....

ඔවුන් කවදාවත් ප්‍රශ්නය නැවත ඇති නොවීමට විසඳුමක් සොයන්නේ නැහැ. හැමදාම මේ චක්‍රයේ කැරකෙන එක විතරයි කරන්නෙ.

පිතිකරණයේ දක්ෂයෙකු සෑමවිටම තම පිතිකරණය වඩාත් දියුණු කරගැනීමට උත්සාහ දරණවා සේම, මිනිසා ද ජීවිතයේදී සම්මුඛ වන/වූ අභියෝග නැවත සම්මුඛ වුවද ඒ හමුවේ පරාජය නොවන පරිදි ශක්තිමත් කරගත යුතු වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කල පරිදි ජීවිතයට මුහුණ දීමේදී ඇතිවන සියලුම ආකාර අභියෝගයන්/ශෝකයන්ට හේතුව වන්නේ "තණ්හාව" වේ. එනම් යමක්/කෙනෙක් කෙරෙහි වන කවරාකාර වුව බන්ධනයයි.

මෙම බන්ධනය සර්වප්‍රකාරයෙන්ම බිඳගත් කල්හි නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වේ. (එය පසුවට)

එදිනෙදා වන දුක්ඛ දායක තත්වයන්ට තණ්හාව හේතුවෙන්නෙ කොහොමද?

බුදු දහම ඔස්සේ පැහැදිලි කරන කල්හි, ලෝකයේ ඇති සියලුම දේ (පදාර්ථය) නිර්මාණය ව ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ඒවායේ සම්මිශ්‍රණයෙන් සැදුණු රූප කලාප වලින්. මිනිස් ශරීරය ද සෑදී ඇත්තේ ඒවායින් ම වේ.

ජීවිතය සැකෙවින් ගත්කල සිත් පරම්පරාවක් (විඤ්ඤාණ) මුල් කරගත් හේතුඵල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. මෙහි ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙතන 'සිත' නැතුව 'සිත් පරම්පරාවක්' කියල කීවෙ ඇයි කියන වග. අන්න ඒ දේ තමයි මේකෙදි තේරුම් ගන්න ඕනෙ.

හිතන්න මෙහෙම. ඔබ ඔබේ 'පෙම්වතිය'/'පෙම්වතා' ව දකින අවස්ථාවක් මතක් කරගන්න. එම අවස්ථාව ඇතුලෙ වන සිදුවීම මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. මේ ශරීරයේ 'ඇස' කියන ඉන්ද්‍රියට බාහිර 'පෙම්වතිය' කියන සතර මහා ධාතුන්ගෙන් නිර්මිත රූපකයින් ජනිත වර්ණරූප සහ බාහිර වටපිටාවෙ තියෙන සතර මහා ධාතූන්ගෙන් ජනිත වර්ණ රූපවලත් සියල්ලේම එකතුවක් වන තනි වර්ණ රූපයක් ගැටුනාම ඒ සිත භවාංගයෙන් (මනෝ ධාතු සිත් පරම්පරාව/ වෙන අමතර දෙයක් සිතින් මෙනෙහි නොකරන විට හෘදය වස්තුව ආශ්‍රිතව ඇති වන සිත් පරම්පරාව) ගැලවිලා "රූපය දැකීම" යන කෘත්‍ය සම්පාදනය කරන්නාවූ ඇස ආශ්‍රිතව උපදින සිතක් ඇතිවෙනවා. අන්න ඒ අවස්ථාව තමයි පෙර කියූ "මං අද මෙයාව දැක්කා" කියන ඕනම දෙයක් දැකීම කියන සිද්ධිය ඇති වන අවස්ථාව. වෙනත් කිසිම විදියට 'පෙනෙනවා' කියන සිද්ධිය වෙන්නෙ නැහැ.

එහෙම 'දකිනවා' කියන සිත ඇති උනාට පස්සෙ ඒ සිත ඉතිරි නැතිව නැතිවෙලා යනවා. සිතකට ආයුෂ තියෙන්නෙත් චිත්තක්ෂණ 1ක ආයු කාලයක් විතරයි. එයින් පස්සේ අර දැකපු රූපය අරමුණු කරගෙන හෘදය වස්තුව මූලික කරගෙන නැවත සිත් ඉපදීම සිදුවෙලා එම කාල පරාසය වෙනකොට සිතේ බලවත් වෙලා තියෙන ස්වභාවය අනුව එය පෝෂණය වනු පිණිස වන යම් කිසි නිමිත්තක් (මූලිකවම අප්‍රහීණව තියෙන අවිද්‍යාව නිසා 'මේ මගේ පෙම්වතිය/පෙම්වතා' වගේ නිමිත්තක්) ග්‍රහණය කරගෙන නැවත සිත භවාංගගත වෙනවා.

ඇහැට ආපු වර්ණ රූපය පැත්තෙන් ගත්තොත් ඒක ක්ෂණ කිහිපයක ආයුෂයක් අරගෙන යලි නොඑන පරිදි විනාශ වෙනවා. රූපය ග්‍රහණය ඇසෙහි පවතින "චක්ඛු ප්‍රසාද රූපය" ගත්තොත් ඒකත් ක්ෂණ කිහිපයක ආයුෂයක් අරගෙන නැතිවෙලා යනවා. අර වර්ණ රූපය උපද්දපු රූපකාය ඇතුලු දේත් ක්ෂණ කීපයක ආයුෂයක් අරන් නැතිවෙලා යනවා.

ඉතින්, ඔබ මෙතන ඉදගෙන හෝ හිටගෙන හෝ මොන ම විදියකට 'මට මෙයාව ඕන', 'මෙයා මගේ' වගේ නැති වෙලා ගිය රූපයන් වලට ආශාවෙන් කල්පනා කරනවා.

මේ නැති වෙලා ගිය දෙයක් වුවමනාවෙන්... ඔව්. නැති වෙලා ගියපු දෙයක් වුවමනාවෙන්...

බලන්න එය කොතරම් වැරදි/විකෘති කල්පනාවක් ද කියලා. පේන දේ විතරක් නෙවෙයි ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන දේටත් මේ වැරදි කල්පනාව ලෙසටම අදාල වෙනවා.

ක්‍රිකට් වලින් නම් බැහැරව බොහෝ දුර ගියා නම් තමයි. ක්‍රිකට් ගැන කියවන්න කැමැත්තෙන් හිටියා නම් සමාවෙන්න. අන්න එතනත් ඔබ හිතලා තියෙන්නෙ මොන විදියට ද කියලා කල්පනා කරලා බලන්න. (අචින්ති තමපි භවති, චින්ති තමපි විනස්සති)

ක්‍රිකට් ක්‍රීඩාවේ උනත් එන පන්දුව හරියාකාරව තේරුම් නොගත්තොත් දැවීයන්න පුළුවන්. දැන් නම් දැවීනොගියත් ඔබ වෙනුවට ආදේශකයෙක් පිටියට එන්නත් පුළුවන් ක්‍රීඩා කරන අතරතුර. කණ්ඩායමෙන් ඉවත් කරන්නත් පුලුවන්. නමුත් පන්දුව එන විදිය හුරු කරගෙන සහ තේරුම් ගෙන ඉන්න, අදාල තාක්ෂණය දන්න කෙනෙක් නොදැවී ඉඳිමින් තමන්ට අවශ්‍ය, කණ්ඩායමට අවශ්‍ය දේ සිදුකරනවා. දිගු ඉනිම් ක්‍රීඩා කරනවා. සමාජයෙනුත් පැසසුම් ලබනවා.

නිර්වාණයට පත්වෙනවා කියන තත්වය ගත්තොත් ඒ කියන්නෙ මේ සියලුම ආකාර බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ අවස්ථාවට. නිර්වාණාවබෝධයට පත් උන කෙනෙක් රූපයක් දැක්කට ඒ පෙනුන දෙයින් නිමිත්තක් අරන් ඒක තව රූපයක හොයන්නෙ නැහැ. එය තමයි ජීවිතයක එන්න පුළුවන් සියලුම ආකාර "කරදර", "අභියෝග" වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කල සත්‍යය සම්පූර්ණයෙන්ම අවබෝධකොට ගත් කල්හි එම අවස්ථාව උදාකර ගත හැකියි.

මෙතෙක් කියපු මූලික යථාර්ථය තේරුම් ගන්න පුළුවන් උතොන් ජීවිතයේ ඔයාලට එන පැය ගණන් නිදි මරාගෙන/ නොකා නොබී උත්තර හොයන ප්‍රශ්න කියන්නෙ මොන තරම් නොවැදගත්/වෙලාව නාස්ති කරන දේවල් ද කියලා හිතාගන්න ඔයාලටම පුළුවන්. ජීවිතය ඔයාට ලැබිලා තියෙන කාලය වටිනා කියන දේකට යොදවන්න ඔයාට පුළුවන්. මරණය තෙක් ගතවන කාලය ඔබට උපරිම සතුටින් ගතකරන්නත් පුළුවන් වේවි.

ස්තූතියි.

Read more

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Computational Thinking and the Human Mind: The Role of AI, Multimedia, and Psychology in Modern Learning.....

Introduction In the modern digital era, technology has become a central part of how humans think, learn, and communicate. One of the most important skills that supports problem-solving in this technological environment is computational thinking. Computational thinking is not only used in computer science but also in everyday decision-making, education,

By Kavisha Tinashi Silva Jayasinghe
ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

ජීවන කතරේ ප්‍රතිභාව ඇයයි

මොහොතකට හිතන්න ගැහැනියක් වුනේ පින් මදි නිසාද? ඇය නම් මායාවක්ද? පුංචි සිතක් මේ තරම් ශක්තිමත් ද? එහෙනම් එන්න අහන්න ඇගේ කතාව. සුදු මල් ගවුම ඇන්දේ

By Rathnayaka Mudiyanselage Thisari Dilakna Ekanayake